Apr 17, 2008

ගුරුතුමීටත් එහෙම ඇති

චීන පටස්
කණ ගාව පුපුරණ එකට වඩා
වෙන කිසිම කරදරයක් අවුරුද්දට තිබුණේ නෑ
රචනාච ලියනවාට වඩා
නෑදැයෝ බලන්න
රට වටේ යන එක තමා
ලොකුම වැඩේ
උතුරට උන්න ආසා උනාට එහේ
මානුසික වැඩ නිසා බෑ
දකුණට යන්ට බස් නෑ
දුර ගමන් අපි යන්නේ බස් වලනේ
බදුල්ලට කෝච්චි නෑ
ඒ හින්දා මාර ගහේම ඉඳගන
රූපවාහිනියෙන් අවුරුදු කෑවා
රූප වාහිනී වල අවුරුදු
කොච්චර සරුද?
නැකරට වෙලාවට
කිරෙන් තෙලෙන්
අවුරුදු අවුරුදු
ඒ හින්දා
නොකා නොබී
රූප පෙටිටියෙන්ම අවුරුදු වින්ඳා
ගුරුතුමීටත් එහෙම ඇති

Apr 10, 2008

ගුරුතුමීට රචනා එපා වෙලා

අද ලියන්න තියෙන්නේ කවියක්
ගුරුතුමීට රචනා එපා වෙලා
මං ලියපු කවි කතාව
හොඳයි කිව්වේ ඒකයි
කවි තමා අමාරු
ඇයි රසවත් වෙන්න එපෑයැ
අග මුල ගැලපීම
අග අග ගැලපීම
අයියෝ
මාත්‍රා තැබීම
ගුරුතමී කියාගන ගිය වැඩ ගොඩ
අපි හැමදාම කියන
කපුටු කාක් කාක් කාක්
ගොරක ඩේං ඩේං ඩේං
පද දෙකයි!
ඒ උනාට කපුටන්ගේ ජාතික ගීය
මගුලට, මරණෙට, කොටහලුවට
මාත් දන්න දේවල්
ඒකනේ කියන්න
ඒ හින්දා මං කපුටා ගැනම කවියක් ලියනවා

කපුටු බාං බාං බාං
පියඹා වාං වාං වාං
වැලම කාං කාං කාං
සද්දේ දාං දාං දාං

ගුරුතූමී මේකට දේශාබිමාන්න කවියක් කියයිද ?
කොපියක් කියයිද ?
සම්ප්‍රදාය ඉදිරියට යාමක් කියයිද ?
නරක නෑ!
විචාරය හෙට!

Apr 8, 2008

ආ මේ මාද්දිය කට්ටියක් නේ!

කර්ක්...චිප්!
කවුදෝ කාරලා ගහපු බුලත් කෙළ පාරේ සද්දෙට
අත්තක පොඩි නැප් එකක් දාගෙන හිටපු මට ඇහැරුනා
පහල දුවනගිරි කඬේට කට්ටියක් සෙට් වෙලා!
අත්වල කැමරා, පෑන්,අයිඩීත් එල්ලාගෙන
ආ මේ මාද්දිය කට්ටියක් නේ!
ලොකු කතාවක්,
රචනේට ලියන්ට මොනා හරි ලැබෙයි කියලා
මාත් බැස්සා පහලම අත්තට
එයාලා කවි ලියනවා පෝස්ටර් වලට
කට්ටියක් හෙඩිං හදනවා පත්තරේට
වැඩියෙන් කියවෙන වචනය විමල්

අනේ විමල් - ගියා විමල්
මොකද විමල්- සැකද විමල්
යන්ඩ විමල් - එන්ඩ විමල්
මොකද විමල් - නිකං විමල්

ගන්න විමල් - මන්නේ විමල්
කපමු විමල් - කොටමු විමල්
ඩප්පි අපේ - ඔබට විමල්
එන්ඩ මෙහේ - අපේ විමල්

ඇමති වගේ හිටිය විමල්
පොරක් වෙලා හිටපු විමල්
සංදානේ හිටපු විමල්
ආටි ගහපු කටින් විමල්

ඉගන ගත්තේ නැතිව විමල්
සේවය කල අපේ විමල්
චන්ද ගොඩක් ගත්ත විමල්
අංක එකට ආපු විමල්

ප්‍රචාරයට උපන් විමල්
කට සද්දේ වැඩිම විමල්
මහ චන්දේ කඩුව විමල්
ජොබ් කටුවත් නෑනේ විමල්

දැන් නම් සිරසේ බලන්න දේකුත් නැති වෙයි
කෙනෙක් කීවා,
සිරසේ ප්‍රචාරක කළමණාකරු අස්කරලා විමල්ට දේවි!
අනිත් එක්කෙනා කියාපි,
අන්තිමේදී මාද්දියට තමා හොද්ද බොර
මොකද මිනිස්සු නොකා නොබී
ඉතුරු කරලා වියදම් කරන්නේ
පත්තර ගන්නයි, එස් එම් එස් වලටයි නේ
අපරාදේ විමල් ඒ ලෙවල් කරලා කැම්පස් ගිහින් දොස්තර කෙනෙක් උණානන් ස්ට්‍රයික් කරන්න වත් තිබුණා කිව්වා එක්කෙනෙක්,
ඒයි! ඇමතිලා ස්ට්‍රයික් කරනවාද ?
වෙන්න බෑ,
ඕනේ තරම් ඇමති වැඩේ කරන්න අය ඉන්නවනේ!
මටත් ඇමති කෙනෙක් වෙන්න හිතුණා

Apr 4, 2008

මහදැනගේ මුට්ටි නුවණ

පොළ ගාව සූ ගාලා සෙනග
ගෑණු කට්ටිය පෝලිමේ
අතරින් පතර පිරිමි දෙතුන් දෙනෙක්
හැමෝම ලඟ මුට්ටි
අලුත් ඒවා නෙමෙයි
පරණ කලු උන මුට්ටි
අප්පා .. බත් උයන මුට්ටි
අවුරුද්දට අලුත් මුට්ටි ගන්නවා මිස
පරණ මුට්ටි මොකද කියලා බලන්න
මම ලඟටම පියෑඹුවා
ෂහ්.. පුදුම තදබදයක්
ඒ අස්සේ කොල‍පාට තොප්පියක්
දාගත්ත මහත්තයෙක් අතේ සල්ලි තියාගන
එන එන අයගේ පරණ මුට්ටිය අරගන
අලුත් මුට්ටියක් ගන්න සල්ලි දෙනචා
නරක නෑ වැඩේ
මොකද මේ පරණ මුට්ටි එකතු කරන්නේ
මං ඇහුවා ආතාගෙන්
උඹටත් ඕනේ නැති දෙයක් නෑ
ඔය අර කාලයක් පොළේ
කොල බෙදපු මහත්තයානේ

ඉතිං!

අද හෙට මුට්ටි බිඳිල්ලක් තියනවානේ ආණ්ඩුව වට්ටන්න
බොරු!
නෑ බොල තියනවා දස ලස්සයක මුට්ටි බිඳිල්ලක්!
ආතාගේ විහිලු!
නෑ බං පොල් ගැහුවේ කාලයක්!
ඉතිං ඇයි දැං පොල්
ආණ්ඩුව පොල් අත්‍යවශ්‍ය බාණ්ඩයක් කළානේ
ඉතිං
දැන් පොල් නෑනේ
ඉතිං
දැන් මුට්ටි බිඳින්නේ!

ඉතිං කොළඹ ගෙවල් වල තියෙන්නේ සාස්පාන් නේ!
ඒවා කැඩෙන්නේ නැති නිසා ගංවලට ඇවිත්
මුට්ටි එකතු කරනවා බොල !

ආතා කියපු එකේ මට නොතේරෙච්ච හරියක් තියනවා
මුට්ටි බිඳපුවාම ආණ්ඩුව වැටෙනවා නං
අර සයිමා රෑට බීලා මුට්ටි හට්ටි බිඳපුවාම
වැටෙන්නේ කවුද ?
මාර මුට්ටියක්!

මාත් හිරවුනා අර මුට්ටිය දාගත්ත එලුවා වගේ
මහදැනමුත්තාගේ නුවණ තමා නුවණ
ඒ උනාට පවු
මුට්ටි ප්‍රස්නේට උත්තර දීපු
මහදැනමුත්තා කියන්නේ පුංචි මනුස්සයෙක්ද ?
ගෝල බාල පරම්පරාවක් ඉන්න
ටිකක් මැන්ටල් උනත් නායකයෙක් නේද ?

කවුද දන්නෑ ඔය ගණදෙවි නුවණ දෙන්නේ
අම්මෝ අර ඉන්නේ උපදේසක පරම්පරාව
උපදේසකටත් උපදේසකලා ඉන්නවා වගේ
ඒ තරම් උපදෙස්

ලඟින්ම ඔලුවේ මුට්ටියක් දාගන ඉන්නේ
ප්‍රධාන උපදේසක වෙන්නැති
කෝ මුට්ටිය දාගන මූණ පේන්නෑනේ

මං ආවා සයිවර් කඩේ ගාවට
අර කට්ටිය මුට්ටි බිඳලා
ගියා හෝටලේට කෑම කන්න
එතනත් බිඳියිද දන්නෑ
නෑ! හොටල් වල‍ කොහෙද මුට්ටි

අර මුට්ටි ගත්ත මිනිස්සු ආයි පෝලිමේ එනවා
සල්ලි ආපහු දීලා මුට්ටි ගන්න
බත් මුට්ටි වලට දීපූ ගාණට
බත් මුට්ටියක් නෙමේ
සෙල්ලම් මුට්ටියක් වත් ගන්ට බෑලු
හරි වැඩේ
ලංකාවේ මුට්ටි ඔක්කොම බිඳලා
අද රෑට ලංකාවෙම බත් නෑ
කා‍ලා හමාරයි!